Search This Blog

Saturday, February 23, 2013

ආදරයට ටිවුෂන් දෙන්න..


"ලංකාවේ ප්‍රසිද්ද විද්‍යාලයක සාමාන්‍ය පෙලෙ ඉගෙනුම ලබන ශිෂයෙකු විසින් තම පෙම්වතියට පෙම් හසුනක් ලියයි. කෙසේ හෝ එය පංති ගුරුවරයා අතට පත් විය. පසුව ඔහු එය වරදක් ලෙස දැක විදුහල්පති වරයා අතට පත් කිරීමට කටයුතු කලේය. විදුහල්පතිවරයා නිදහස් වෙලාවක නිකමට මෙන් එම පෙම් හසුන කියවද්දී ඔහුට පසක් වූවේ එය ඉතා නිර්මාණශීලී අයුරින් සකක් කරන ලද්දක් බවයි. කලාව පිලිබඳව උනන්දුවක් ඇති එතුමා නැවත පාසල් දිනයකදී. ඒ බව පාසලේම සංගීත ගුරුවරයෙකුට ඉදිරිපත් කිරීමයි. ඔවුන් දෙපලගේම අදහස වූවෙ ගීතයකට අවශ්‍ය පදවැල තිබෙන බවයි. පසුව අදාල පංති භාර ගුරුවරයා ලවා ලිපියේ හිමිකරු ශිෂ්‍යා විදුහල්පති කාර්‍යාලයට ගෙන්වා ගත්තේය. බියෙන් තැතිගෙන පැමිනි ශිෂ්‍යා නැවත පැමිනියේ සිනා මුසු මුහුනිනි. සංගීත ගුරුවරයා උපදෙස් දුන්නේ එම ලිපිය නැවත ලියා දෙන ලෙසයි. ආලයෙන් මත්වූ ශිශ්‍යා නැවත එය ලිව්වේය. පසුව ප්‍රසිද්ද ගායක තීක්ෂන අනුරාධ ලවා ගීතයක් කියවා ගැනීම සිදුකල අතර. පද වැල අදාල 11 වැනි ශේණියේ අදාල ශිෂ්‍යාගෙනි. සංගීතයද විද්‍යාලයේ ගුරුපියාගෙනි. ඉදිරියේදී එලි දැක්වීමට නියමිත ගීතට සඳහා රූප රාමු සිය
ල්ලක්ම පාහේ විද්‍යාලීය පරිශ්‍රියේදි සිදු වූ අතර, රූප රාමු වල සිද්දිය සැබෑ සිද්දියට සමාන අයුරින් නිපදවා ඇත. විද්‍යාලීය ගුරුවරියකද නිශ්පාදනයට දායක වී ඇත...."
මගේ මුවට සිනහවක් නැගුනේ , පෙම් හසුන් ලියා අපරාධකාරයන් ලෙස හංවඩු ගැසුනු අතීත පාසල් සිදුවීම් ගණනාවක් මතකයට නංවමිනි.... ප්‍රේමය අපරාධයක් නොවේයැයි , එමෙන්ම ප්‍රේමය නිරන්තරයෙන් නිර්මානශීලී මිනිසුන් බිහි කරන්නේ යැයි හඳුනාගත් විදුහල්පති වරයා සැබවින්ම හොඳ නායකයෙකි. හොඳ මග පෙන්වන්නෙකි...  

ආදරයට ටිවුෂන් දෙනු වස්  හොඳම ගුරුවරුන්, දෙමාපියන් යැයි මා වරෙක ලිව්වා ඔබට මතකද? ආදරය ලියුම් ලිවීමෙන් , අතින් ඇල්ලීමෙන් හා හාදු දීමෙන් පමණක්මත් බොහෝ හංවඩු ගසා ගත යුතු 'බාලාපරාධයක්' නොවන බව හඳුනා ගැනීමම ලංකාවේ වැඩුනු පුද්ගලයකුගෙන් බලාපොරොත්තු විය නොහැකි දෙයකි. 
ක්‍රියාවකට එරෙහිව ගන්නා ප්‍රතික්‍රියාව තවෙකෙකුගේ ජීවිතයක් වෙනස් කරන්නේ කෙසේදැයි මෙයම හොඳ උදාහරනයකි...  

සිය සිත ගත් කෙල්ලට ලියූ ආදර ලියුම , එය හසු වීම , එය විදුහල්පතිගේ අතට පත් වීම යන වැරදීම් තුල කොපමණ වෙනස් ඉරණමක් සැඟවී තිබේද ? පාසල් රැස්වීමක සියල්ලන් ඉදිරියේ කෝටු පහර දුන්නේ නම් , මේ කොලුවා සිය ජීවිතයම අඳුරේ හෙලා ගන්නට එයද ප්‍රමානවත් වනු ඇත . පන්තියේ ගුරුවරයා ඔහුට රහසේ තරවටු කොට ලියුම විසික්කා කොට දැම්මේ නම් , ඔහු තාමත් කෙල්ලට හොර ලියුම් වෙනුවට එස් එම් එස් ගහනවා ඇත. ගුරුවරයාට පවා හසු නොවී ලියුම කෙල්ලටම ලැබුනේ නම් , එක් කෙල්ලක් සතුටු වනු ඇත. උන් දෙදෙනා සතුටෙන් සිටිනු ඇත. එක්කෝ කෙල්ල බෑ කියනු ඇත. කොල්ලා තව ලියුම් හොරෙන් ලියනු ඇත. 
එහෙත් ඒ සියල්ලා අභිබවා දෛවය බොහෝ විස්මයජනක දෙයක් සිදුකොට තිබේ. හොරලියුම් ලියූ කොල්ලා අද ගීත රචකයෙකි. ඔහු ලියූ හොර ලියුමේ වචන වලට හඬ පොවන්නේ රටේ නම ගිය ගායකයෙකි. ඇතැම්විට කොල්ලා ලද හොඳම ජීවිත පාඩම මෙය විය හැකිය. ඔහු කෙල්ලෙකුට ලියුම් ලියූ බව අද රටටම නොරහසකි. එහෙත් ඒ රහස පිටුපස්සේ , ඇතැම් විට පන්තියේ සිතගත් ඇයට වඩා බොහෝ විසල් ලෝකයක් ඔහු දිනාගෙන තිබේ. ඔහුට ජීවිතය දිනාගෙන යාමට මගක් විවර වී තිබේ.  

ගුරුවරයෙකු යනු වචනයේ පරිසමාප්තාර්තයෙන්ම , සිය සිසුන් උදෙසා ජීවිතය දිනා දෙන්නෙකු' විය යුතුය. සිය සිසු සිසුවියන්ගේ ජීවිතය ගුරුවරයකුගේ නාමයෙන් ආලෝකමත් වනු විනා , අඳුරට නොයා යුතුය. 
නවෝද්ට ලැබුනු හොඳ ඉස්කෝලේ මහත්මයා සහ ගුරු භවතුන් පිරිස නවෝද්ගේ ජීවිතයට ගෙනාවේ නව බලාපොරොත්තුවකි. අහුවූ ලියුම තුලින් ඔහුට ජීවිතයේ තෝන් ලනුවත් අහුවීම දෛවයේ විස්මයජනක බව අපට කියයි.  

ආදරය සුප් හොද්දක් , රෝසමලක් , හාදුවක් යන මානයෙන් ඔබ්බට ගොස් , ආදරය ජීවිතයට පන්නරයක් වන්නේ , ආදරයේ සුන්දරත්වය හඳුනාගත් , වැඩිහිටියන්ගේ මනා ප්‍රතික්‍රියාවෙනි... 

මම ආසයි හිනා වෙන්න, ජීවිතයම නුඹත් එක්ක...
නොවරදවා ඹබ එන විට, සිනා මලක් අරන් එන්න..

මම ආසයි යාඵවෙන්න, ජීවිතයම නුඔත් එක්ක...
නොවරදවා ඔබ එනවිට, ලෙන්ගතුකම අරන් එන්න..

මම ආසයි නුඔත් එක්ක, සෙනෙහයේ සුව විදින්න...
අද ඇවිදින් නුඔ යන විට, තුටු කදුලක් තබා යන්න....

Tuesday, February 19, 2013

මගේ පුංචි රෝස මලේ...


    මම උගන්වන මගේම ටියුෂන් පන්තියේ, මම දැකපු හුරතල්ම පුංචි කෙල්ල එයා. ගෑණූ ළමයි මහ ගොඩාක් මැද , මගේ හිත අහම්බෙන් හරි නැවතුනේ පුංචි ,අහිංසක,හුරතල් ගෑණූ ළමයෙක් ළඟ. ඒ ගෑණූ ළමයා දැක්කාම මට හිතුනෙ එකම එක දෙයයි.."අනේ මට මේ පුංචි කෙල්ල මගේම කරගන්න තිබ්බානම්" කියලායි. ඒත් එක මොහොතකින් මම ගැන මතක් වුනාම, මගේ වයස ගැන හිතුණාම,මෙහෙම ආදරයක් අසම්මතයක් ද කියලා හිතුණා. ඒ නිසාම මම දස දහස් වාරයක් හිත ඇතුළෙන් තැවුණා.හඬා වැටුණා. තව අවුරුදු 10ක් වත් වයසින් බාල වෙන්න තිබ්බානම් කියලා හිතුනා. එහෙනම් පන්තියේ කෙළවරේම බංකුවකට වෙලා මේ පුංචි කෙල්ල දිහා බලාගෙන ඉන්න තිබ්බා නේද කියලා හිතුණා. පුංචි කොළ කෑල්ලක් අරන් කවියක් ලියලා යවලා, ඒ සුදු මූණේ හැඟීම් දිහා හොරෙන් බලන් ඉන්න තිබුණානම් කියලා හිතුණා.ඒ හිතට සර් කෙනෙක් නොවී, යාළුවෙක් වෙලා ළං වෙන්න තිබුණා නම් කියලා හිතුණා.ඒත් හැමදේම වෙනස් කරන්න බැරි තරමට කාලෙ ගෙවිලා හමාරයි..

තවත් ගෑණූ ළමයි රොත්තක් එක්ක, හුරතලේට දඟ කර කර පන්තියට දුවන් එන ඒ පුංචි කෙල්ල, මගේ ඇස් මානෙම මලක් වගේ පිපිලා තියෙද්දි , ඒ මල නෙළා ගන්න බැරිව ලතැවුනූ මගේ හිත විඳෙව්ව තරම දන්නෙ මම විතරමයි.ආදරේට වයස ප්‍රශ්නයක් නෑ..ඒත් තරුණකම යාන්තමට ගෙවීගෙන යන මගේ හිතින්, ඒ පුංචි කෙල්ල ගැන තියෙන හැඟීම පහ කරන්න බැරි තරමට මම අසරණ වෙලා.

පන්තියෙ උගන්නන වෙලාවෙදිත් එහෙ මෙහෙ දුවන මගේ ඇස් එකසැරේම නවතින්නෙ ඒ ඇස් ලඟමයි. "කියාගන්න බැරි මේ හැඟීම මගේ ඇස් වලින්වත් කියවලා තේරුම්ගන්නවනම් මේ පුංචි එකී??" මගේ වියපත් හිත බොළඳකමින් පිරිලා ගියා.බෝනික්කියක් වගේ ඇස් නටව නටව ළඟ ඉන්න යාළුවොත් එක්ක කියවන කතා අහන් ඉන්න මගේ හිත ලෝබකමින් ඉතිරිලා ගියා. 

ඇත්තටම ඔයා රෝසමලක්. සුවඳ උතුරන ලස්සනම ලස්සන රෝස මලක්.  මට හුඟාක් දුරින් පිපුණූ පුංචි මලක්. මම ඒ මල ට ළං වෙන්න හිතාගන්නවත් බැරි වියපත් බඹරෙක්.ඔයාගෙ හීනෙකටවත් ලං වෙන්න බැරි මම අසරණයෙක්. ආදරේ නාමයෙන් ඔයාගෙ හීන ලෝකෙ සැරිසරන්නවත් පිනක් නැති මම අවාසනාවන්තයෙක්.

සිංහල  උගන්වන මගෙන්, එයා ඉගනගන්න ආවෙ සිංහල  මිස ආදරේ වත්, ජීවිතේවත් නෙවෙයි. ඒත් මුරණ්ඩු මගේ හිතට දැනෙන නොඉවසිල්ල, අහිමි කරපු සැනසිල්ල, ආපහු මටම ලබාගන්න විදිය මට උගන්වන්න පුළුවන් එයාට.ඔව්.. එයාට විතරමයි. පන්තියෙ ඉගනගන්න කොල්ලෝ, මේ පුංචි කෙල්ල දිහා බලද්දි, කතා කරද්දි, මේ රෝස මලට ළං වෙන්න හදද්දි, මගේ හිත ඊර්ෂ්‍යාවෙන් පිරිලා යනවා. ඒ කොල්ලන්ට  ගහන්න තරම් තරහක් එනවා. මගේ ඇස් මානෙ නැළවෙන මේ පුංචි මල කවුරුහරි නෙළා ගනීවී කියලා හිත බයෙන් ගැහෙනවා.තමන්ට අයිති වෙන්නෙ නැති දෙයක් තව කෙනෙක්ට අයිති වෙනවා දැක්කාම සාමාන්‍ය මනුස්සයෙක්ට දැනෙන ඒ සියුම් ඊර්ෂ්‍යාව අසාධාරණ නෑ කියලයි මට හිතුණේ. එයා ගැන කියලා ඉස්සරහට එන සමහර චිට් කියවලා මගේ මූණ අඳුරු වෙන හැටි, මගේ හිත ගැහෙන හැටි මටම නොදැනෙනවා නෙවෙයි.ඒත් මටවත් නොතේරෙන මේ හැඟීමෙන් මාව මුලා වෙලා වගේ..

දවසක් දා පන්ති ඉවර වෙලා ළමයි ඔක්කොම යද්දිත්, එයා යාළුවත් එක්ක නතර වුනා .මගේ හිත ඩිංගක් ගැස්සුනා. හිමින් හිමින් පොතකුත් අරන් මගේ ළඟට ආපු පුංචි කෙල්ල, "සර්" කියලා හරිම හිමින් , ගෞරවයෙන් කතා කළා.උගන්වපු පාඩමේ සටහන් අතරේ ,සුදුම සුදු පුංචි ඇඟිලි එහෙ මෙහෙ යව යව , ඒ දුඹුරු පාට බෝල ඇස් මගේ ඇස් වටේ යව යව  මගෙන් ප්‍රශ්න ඇහුවා.මගේ හිත ඇතුළෙන් සතුට විද්දෙ වතුර මලකින් වතුර විදිනවා වගේ. මම ඒ සුන්දර මූණේ හැම සියුමැලි රේඛාවක්ම හීන් සීරුවෙ විඳගත්තා. මගේ ඇස් නැවතුනේ එයා ඇඟිලි තියලා පෙන්නපු වචන පේළී වල නෙවෙයි,  ඒ හීන් සුදු ඇඟිලී ළඟ. සුදුපාට පුංචි ගලක් අල්ලපු චාම් මුද්දකින් ඒ දකුණතේ ඇඟිල්ල හැඩ වෙලා තිබුණා."මටත් තිබ්බානම් ලස්සන චාම් රත්තරං මුද්දක් දාලා ඒ වමත හැඩ කරන්න.." මගේ හිත දිව්වා..තදින් අල්ලගන්න අල්ලගන්න හදන හැම මොහොතකම මගේ හිත දිව්වා.එදා දවසම මගේ හිත පුරා සැරිසැරුවෙ ,ඒ පුංචි හුරතල් ගෑණූ ළමයා විතරයි.

මේ හිත පුරා ඇවිලෙන එකම එක සිතුවිල්ල ඔයාට කියාගන්න බැරිව මම අසරණ වෙලා.ඔයා හඳක් වගේ මගේ ජීවිතේට පායලා එනවනම් මම හුඟාක් ආසයි.නොතේරුණූ පාඩමක් කියලා දෙනවා වගේ, ඔයා ළඟට ලං වෙලා , මේ ආදරේ කියලා දෙන්නත් වෙලාවකට නොහිතෙනවා නෙවෙයි... ඒත් ඔයා මගේ ආදරේ තේරුම් නොගත්තොත්? මට දුක හිතේවී හුඟාක්ම. ඒත් මම තරහක් නෑ.. ඔව්. ඔයා මගේ ආදරේ තේරුම් නොගත්තාට මම තරහා නෑ.

එයාගේ හිනාව , ඒ කතාව,  ඒ දඟකාරකම, හුරතල් ගතිය , මේ හැම දෙයක්ම මාව තව තවත් තරුණ කලා වගේ. කවදාකවත් නැතිව මම මගේ පෙනුම ගැන හිතුවා. පාට පාට ශර්ට් ඇඳලා වෙනදාට වඩා පිළිවලට පන්තියට ආවා.මවාගත්ත දඟකාරකමකින්, උද්යෝගයකින් ,උනන්දුවකින් මම ඉගැන්නුවා. කොලුකමට කොල්ලො එවපු චිට් දෙක තුනකත් මගේ වෙනස ගැන අහලා තිබ්බෙ නැතුව නෙවෙයි. ඒත් මම මේ වෙනසට ආස කළා.මාව අවුරුදු ගාණක් ආපස්සට ඇදගෙන යන්න තරම් මේ ආදරේ ප්‍රබල වුනා.

අහම්බෙන් දවසක මම දැක්ක දෙයින් හිත කීරි ගැහුණා. පන්තිය පටන්ගන්න කලින්, පඩිපෙළක් ළඟ එයා හිටියෙ හුරුබුහුටි කොල්ලෙක් එක්ක කතා කර කර. මගේ හිත පතුරු පතුරු ගැලවිලා ගියා.ඒ හුරුබුහුටි කොල්ලා මගේ පුංචි කෙල්ලගෙ අතකිනුත් අල්ලගෙනයි හිටියෙ. ඉස්කෝලෙ යන කාලෙ බොළඳ පෙම්වතෙක් වගේ මගේ හිත අප්‍රමාණව බොළද වුනා. දරාගන්න බැරි තරම් දුකක් ආවා. තවත් බලාගෙන ඉන්න බැරි තැන මම එතනින් ඈතකට ගියා. ඔව් මම එයාගෙන් ඈතටම ගියා.

ඔයාව මට අයිති නෑ තමා. ඔව් ඒක එහෙමම වෙයි.ඒත් ඔයා කවමදාක හරි මගේ ජීවිතේට එනවනම් මම කැමතියි. මගේ පුංචි ලෝකෙ පුරාවට , මේ ජීවිතේ පුරාවට ඇවිත් සැරිසරන්න ඔයාට පුළුවන් නම්, මම මේ ජීවිතේ ඔය වෙනුවෙන් දිගහැරලා ඉවරයි. ඔයාව මලක් වගේ බලාගන්න මට පුළුවන්. ඔව් මම ඔයාව මලක් වගේ බලාගන්නවා.හරිම පරිස්සමට.. ඔයාට පුළුවන්කමක් තියෙනවනම් මේ ජීවිතේට ළං වෙන්න.. හැබැයි නෑවිත් හිට්යත් මම තරහා නෑ.. දුක දැනෙයි හුඟාක්, ඒත්..මම තරහ නෑ..අවසානෙදි මම දන්නෙ එකම එක දෙයයි.. ඒ, ආදරේට වයසක් නෑ කියලා විතරයි..

මගේ පුංචි රෝස මලේ
මමයි නුඹේ වියපත් බඹරා
නුඹ හීනෙන්වත් නොදකින කුමරා...

කළුවර රෑ සඳක් වගේ
අහසේ නුඹ ඉන්නවනම්...
ආසයි මම නොකී කවිය
නුඹට කියන්න...
තරහක් නැහැ නුඹ බැස යන්න...

මගේ පුංචි නවාතැනේ
ඇවිදින් සැරි සරනවනම්...
ආසයි මං කවුළු පියන්
ඇරලා තියන්න...
තරහක් නැහැ නෑවිත් ඉන්න... 

අවාසනාවට ඇත්ත කථාවක්.......

Sunday, February 17, 2013

කාලය වේගයෙන් ගලා ගොස් ඇත..


කාලය වේගයෙන් ගලා ගොස් ඇත. ඒ ගෙවූ කාලය වේගයෙන් ගලා ගියේ කෙසේ දැයි නොදනිමි. එහෙත් එය එසේ සිදුවී ඇත. මෙතෙක් කල් මම නුඹට මහත් සේ ආදරය කළෙමි. දැන් ඒ මතකයෙහි ඉතිරි ව ඇත්තේ ශේෂ වූ නටඹුන් පමණි.

අරණ මැද තනි වූ , කොළ හැලී අකලට ඉපල් වූ ගසක් සේ හිස් අහස දෙස බලා හිඳිමි. දැන් මට ඉතිරිව ඇත්තේ මිහිරි අතීතයක් පමණි. වර්තමානය හෝ අනාගතය පිළිබඳ සිතුවිලි එහි නැත. හෙට දවස යනු සුන් වූ තවත් එක බලාපොරොත්තුවක් පමණි.

එ දවස ඔබ මට මහත් සේ ආදරය කළ බව දැන සිටියෙමි. මම ද පෙරළා එ ලෙස ම ඔබට ආදරය කළෙමි. එසඳ ඒ ප්‍රේමයෙහි පැවති නෑඹුල් සුවඳ තවමත් ම සිත තැවරී ඇත. ඔබ හැර වෙනත් කිසියම් මතකයක් මගේ මතකයට නො නැගෙයි. එ දවස පුරපසට ද , අවපසට ද ම හද ගගනෙහි පෑයූ පුර හඳ ඔබමැ විය. ඒ ස‍‍ඳෙන් හද අරණට වැටුණ ආලෝකය මට මහත් ආලෝකයක් වූ බව ඔබ නො දැන සිටියේ ද ? 


සංසාර පුරුද්දට මෙන් අපේ හිත්වල තිබූ සියුම් සිතුවිලි පවා සමසම ව ඔබ මා අතර බෙදී ගොස් තිබුණද. එ සමයෙහි මැවූ කල්පනා සිතුවිලි සයුරෙහි කිමිදී දැනුදු ඔබ ඒ සිතුවිලි අතර සොයමි. මෙතෙක් කල් ඒ බව ඔබට නො වැටහුණේ මන්දැයි මට නො වැටහේ.

මා දැන් ජීවිතේ අගිස්සෙන් එල්ලා වැටෙන පරඬලාවක් මෙනි. මැහුමකින් ගෙතුමකින් පවා හමාර කළ නොහැකි අතහැර දමන ලද ගෙත්තමකට මගේ ජීවිතය දැන් සමාන වී ඇත. ගෙත්තම අවසන් නො වූවද එහි ඔබ මැවූ සිත්තම තවම සතුව ඇත. සියල්ල සිදුවී ඇත්තේ කිසිඳු බලාපොරොත්තුවක් රහිතව ය.

රිදුණු, ඉරි තැලුණු , බොඳ වුණු සිහින තුළ ඇත්තේ ආදරෙන් වැළඳ ගත් මතකය පමණි. එදවස ඔබ මැවූ ආදරය තුළින් හද පතුලෙහි ඇනී රිදුම් දෙන මතකය සෙවූයෙමි. එද, ඒ ආදරය එක මොහොතක රංගනයක් පමණක් බව ඔබ අහිමිව යන තෙක් කිසි විටක නො දැන සිටියෙමි.

එදා ඔබ මැවූ මිහිරිම සිහින තුළ මගේ ලෝකය ගොඩ නැංවූයෙමි. ඔබ දැන් මා කෙරෙන් ගිලිහී ගොස් ඇත. දැන් මගේ කල්පනා ලෝකයේ පිරී ඇත්තේ සිතුවිලි පමණක් දැයි මට සිතේ.

හැම අවුරුද්දක ම මගේ කාමරයට ගෙවදින අලුත් දින දසුනක ඇඳි රුවක් සේ ඔබේ රුව එහි මවා තැබූයෙමි. එහෙත් එය නිවැරදි නො වන බව දැන් මට වැටහී ඇත. දින දසුනේ පිරී තිබූ සියලු කඩදාසි එකින් එක ගිලිහී ගියා සේ ඔබේ ආදරය ද මා කෙරෙන් ගිලිහී ගොස් ඇත. මට දැන් ඉතිරි ව ඇත්තේ සෝ ළතැවුල් පිරි අතීතයක් පමණි. මම මගේ දුක එහි ම සඟවා පෙර සේ ම ඔබට ආදරය කරමි. තව දුරටත් මා එසේ කරන්නේ මා සිත නො වෙනස්ව පවතින බැවිනි. ගෙවුණ දවස් පිළිබඳව නො තැවෙමි. මන්ද මට තවත් ඉතිරිව ඇත්තේ ඔබ පිළිබඳ ව මැවූ හෙට දවස පමණි. එය ද හෙට දින මා වෙතින් ගිලිහී ගිය පසු තව දුරටත් මට අහිමි විමට ඇත්තේ කුමක්ද?

ඔබ, ඔබේ ආදරයේ අලුත් යතුර සොරා ගත් අලුත් අමුත්තාට අලුත් දසුනක් වනු ඇත. එහෙත් එසේ මා වෙත අලුත් කිරිල්ලියක පැමිණිය හොත් ඇයට දීමට තවත් මා සතු යතුරක් නොමැත. ඒ ම හද යතුර ඔබට මැ දී ඇති බැවින් ඔබ හැර වෙනත් දසුනකට මගේ කුටියේ ඉඩ නොමැති නිසා ය. ෴

දවසින් දවසට කොළයෙන් කොළයට
කොළ අඩුවෙනවා දින දසුනේ
මොහොතින් මොහොතට මා ගැන සටහන් 
වියැකී යනවා ඔබ මනසේ

පුරපස අවපස වෙනසක් වූවද
ඔබ වෙයි සඳ මගෙ හද අඹරේ
මගෙ ඒ සිතුවිලි හා සබැ‍ඳේවි ද
මුදු සිතුවිලි ඔබ හද මැදුරේ

සිතුවෙම් සිතනෙමි හුරු ලෙස ඔබ ගැන
මගෙ හිත චංචල වූයේ නෑ
දින දසුනේ තව එක කොළයක් ඇත
එක දවසකි ඉතිරිව ඇත්තේ

සිතන්න බොළඳියෙ මගේ කුටියටත්
ඔබෙ කුටියට මෙන් වසරින් වසරට
නව දින දසුනක් එනවා..

ගීතය මෙතනින් අසන්න...

Wednesday, February 6, 2013

අමරණීය වෙන්න කැමතිද ?

අමරණීය වෙන්න කැමතිද කියලා මම ඔයාලගෙන් ඇහුවොත් කීප දෙනෙක් හරි "කැමතියි" කිව්වොත් මම පුදුම වෙන්නේ නෑ. එහෙම හිතෙන එක ස්වාභාවිකයි. මරණයට තියන බය හින්දාත් තමන්ගේ නෑයින්, හිත මිතුරන්, දේපළ දාලා යන්න තියන අකමැත්ත හින්දාත් එහෙම හිතෙනවා ඇති. ඒවාට තියන ආසාව වැඩි වෙන තරමට ජීවත් වීමේ ආසාවත් වැඩි වෙනවා.

හැබැයි නිකමට හිතන්න අපිට අමරණීය වෙන්න අවස්ථාවක් ලැබුණා කියලා. එතකොට හැමදාටම නොමැරී ජීවත් වෙන්න පුළුවන්. මොකද හිතන්නේ?


"Tuck Everlasting" කියන්නේ 2002 වසරේ තිරගත උන චිත්‍රපටියක්. බලපු අය දන්නවා ඇති, ඒකෙ තියෙන්නේ හරිම ලස්සන කතාවක්.

"ජෙසී ටක්' කියන්නේ "ටක්" පවුලේ බාල පුතා. කැලේ තිබුණ එක්තරා දිය උල්පතකින් වතුර බීපු නිසා ඒ පවුලම අමරණීය බවට පත් වෙලා. ජෙසීත් ඔහුගේ අයියාත් දෙමව්පියනුත් කැලෑබද පුංචි ගෙදරක සරල, ලස්සන ජීවිතයක් ගෙවමින් ඉන්නවා. බැලූ බැල්මට හැම දෙනාම සතුටින්. මරණය ගැන කිසිම බයක් නැහැ. ලෝකේ සංචාරය කරන්න, කැමති කැමති දේවල් කරන්න ඕන තරම් කාලය, අවස්ථාව තියනවා.


"Tuck Everlasting" කියන්නේ 2002 වසරේ තිරගත උන චිත්‍රපටියක්. බලපු අය දන්නවා ඇති, ඒකෙ තියෙන්නේ හරිම ලස්සන කතාවක්.

"ජෙසී ටක්' කියන්නේ "ටක්" පවුලේ බාල පුතා. කැලේ තිබුණ එක්තරා දිය උල්පතකින් වතුර බීපු නිසා ඒ පවුලම අමරණීය බවට පත් වෙලා. ජෙසීත් ඔහුගේ අයියාත් දෙමව්පියනුත් කැලෑබද පුංචි ගෙදරක සරල, ලස්සන ජීවිතයක් ගෙවමින් ඉන්නවා. බැලූ බැල්මට හැම දෙනාම සතුටින්. මරණය ගැන කිසිම බයක් නැහැ. ලෝකේ සංචාරය කරන්න, කැමති කැමති දේවල් කරන්න ඕන තරම් කාලය, අවස්ථාව තියනවා.