Search This Blog

Tuesday, October 16, 2012

පෙම් හසුන


සංඛ්‍යා පූර්ව පද සමාසයේ
පස්වෙනිදා
අන්‍යාර්ථයේ සදවතට

මගේ මුවින් පිටවෙන හැම  ශබ්දයක්ම සංකේතයක් වුණා විතරයි.  ඔයා සතපහකට ගණන්ගත්තේ නෑ.මම ශුද්ධ සිංහලෙන් තිස්වතාවක් කිව්වා ඔයාට හොදින් පාඩම් කරන්න කියලා. ඒත් ඒවා ගාත‍්‍රාක්‍ෂර ලෝප සන්ධියේ දී ස්වර ව්‍යංජන සේරම ලොප් කරලා බලා ඉන්න ඔයා ඔය විදිහට පාඩම් නොකර හිටියොත් මිශ‍්‍ර සිංහලයේ අක්‍ෂර ගානට ම හැටවතාවක් විභාගේ ලියන්න වෙයි කියලා මම කිව්වා මතකද ?. සන්ධි කල යුතු දෙපදයේ මුල පදයේ අගත් අග පදයේ මුලත් නිවැරදිව ගලපා සන්ධි පදයක් හදනවා වගේ අපේ කැදැල්ල ලස්සනට හදන්න මං කොතරම් හීන මැව්වද ? ඒත් සිද්ධ වුණේ සන්ධි කළ යුතු පද දෙක වගේ හැම වෙලාවේම විසන්ධි වෙලා ඉන්න. 

ඉස්සර මංසන්ධියක් සංධියක් ගානේ ඔයා එනකල් බයෙන් වගේ බලා හිටියේ ආගම සංධියේදී වගේ අපි දෙන්නා අතරට අලූතින් කව්රුහරි කඩා පනීවි කියලා. ඒත් මට ඒ දවස්වල හිතුනා අපේ ආදරය අසම්භාව්‍ය කි‍්‍රයාවක් වගේ අවිනිශ්චිත වෙයි කියලා. ඔයා දිහා සංශයෙන් සැකයෙන් බැලූවේ ඒ නිසායි.

මම මුලදි හිතුවේ ඔයා අව්‍ය පදයක් වගේ නොවෙනස්ව මා ළග ඉදියි කියලා. ඒත් ඔයා නිපාතයක් වගේ  ඕනෑම තැනක යන්න එන්න පටන්ගත්තා. ඒ නිසා මට හිතුනා මම උපසර්ගයක් වගේ ඔයාගේ ඉස්සරහටම වෙලා ඉදලා කරන බලපෑම්වල තේරුම මොකද්ද කියලා

ඔයා දැනටමත් ද අරුත් එක්ක ලෑස්ති වෙලා ඇස් ඉස් මස් ලේ උරා බීලා ඉවරයි. මට හිතෙනවා ව්‍යංජනා දේශයේ ද එක් ව්‍යංජනයක් වෙනුවට තවත් ව්‍යංජනයක් කැදවනවා වගේ ඔයා අතහැරලා වෙන එකක් කරන්න. එතකොට මට පුලූවන් තද්ධිතයක් වගේ එයා පස්සේම ඉදගෙන හිතභාවය පෙන්වන්න. පේ‍්‍රමවන්ත යන තද්ධිත නාමයේ ඇති වන්ත ප‍්‍රත්‍ය වගේ. 

එක්කෙනෙක් නෙවෙයි අයෙක් කිසිවෙක් කෙනෙකේ වැනි බොහෝ අය ඔයා ගැන මට කියුහ. ඒ වෙලාවේදී සංඛ්‍යා පූර්ව පද සමාසයේදී වගේ මගේ දෙලොව රත් වුණා. ඔයා කොච්චර කිව්වත් ඔයා ළග ඉනු මැනවි කියලා එකී වාක්‍යයේ උක්ත වෙන්න මට බැහැ. ඔයා ප‍්‍රයොජ්‍ය කි‍්‍රයාවේ ප‍්‍රයොජ්‍ය වගේ මා ලවා හැම දෙයක්ම කරවගෙන දැන් ඔහොම කරන එක න ආදී ගණයේ අව්‍ය සමාස පදයක් වගේ අසාධාරණ නැද්ද කියලා හිතලා බලන්න.  
කර්මකාරක වාක්‍යයක අනුක්ත කතෘ වගේ ඔක්කොම උක්ත කර්මයට භාර දීලා පැත්තකට වෙලා බලන් ඉන්න විතරක් මට අවසර දෙන්න. ඔයාට කවදාවත් තෝ තොපි නුඹ නුඹලා කියලා මධ්‍යම පුරුෂයෙන් මා කථාකරලා නෑ. ඒත් සමුගන්න මේ මොහොතේ එක වචනයකින් ආශිර්වාද කරන්නම්. නුඹ කවදාවත් සන්සාරයේ මට හමු නොවේවා කියලා මම නවතිමි. හෙවෙන් ලිවූ තැන්වල වැරදි ඇතොත් සමාවන්න. 

මීට
ඔයා වෙනුවෙන් හඩන වැළපෙන කෘදන්ත

No comments:

Post a Comment